Friday 25 November 2011

රත්තරන්, හිත හඬයි ඉකිබිඳ


හරිතවන් ඒ කඳු මුදුන් මත 
සුදට දිලි මීදුම් කොයිද නුඹ,
දසන් සනහා පිරෙන්නට තිබු 
මගේ සිනහවන් ගියේ කොයිබද

තුටින් රඟදෙන සමනලෙකු සේ
රැඟු සැනසුම කොයිද අද නුඹ
මුව විදාගෙන ගිරවියකසේ
මා දෙඩු බස් ඇයිද නිහඬව





නින්ද සොරකම් කලේ කවුරුද
ආයේ එන්නේ නැතිද සැනසුම
සිතට ලංවී කියන් හෙමිහිට
රත්තරන්, මේ වෙන්නේ මොනවද

නැවතුමක් හමු වේද මේ මඟ
ගිමන් හල පමණක් වේද මෙය
ගෙනගියේ ඔබ කොයිද සැනසුම
රත්තරන්, හිත හඬයි ඉකිබිඳ

නුඹට රහසින් සිතින් පෙම් බැඳ
සිහින සමඟින් ගොස් බොහෝ දුර
අනේ අහිමියි සිතට සැනසුම
රත්තරන්, එය දන්නේ නැතිවද 

Saturday 19 November 2011

නිහඬ ඔබට


සඳක් නිසා ඔබ පුර පසලොස්වක අහසක
මට බයයි අහිමි වෙයි කියලා මේ මුදු සැනසුම
හීනයක් වෙලා නෙත පිනවන පින්බර ඔය සඳ
බැස ගියොත් සිතට කුමක් වේද නොදනිමි මම තව 

නිම්නයක් සුවඳ කරවා පිපි පුංචි සමන් මල
අප නමින් පිපි සුවඳ බෙදයි පරව යාද එය
ඒ ලෙසින් සිතුම් සිතට ගෙනෙන ඔබගේ දඟ වැඩ
තව තවත් කරන්නෙපා සුදෝ රිදෙනවා මගේ හිත

ඔබ හඳක් නිසා මම වෙන්නම් තරුව ඔබේ  ලඟ
මා තනිකර ඔබ බැස ගියොතින් තනි වෙයි පොඩි මම
ඔබ තමයි එළිය දෙන්නේ පොඩි තරුවක් වුනු මට
හැර යන්න එපා දුප්පත් හිත හඬාවි ඉකි බිඳ

පොඩි උනත් මහමෙරක් මගේ හිත දන්නවාද එය
සත් සමුදුර මට වෙන්න හිතයි ඈතට විහිදෙන
මුළු ලොවටම කෑ ගසා කියන්නට මගේ සෙනෙහස
මට සවියක් නැහැ ඔබ හරි නිහඬයි නොවෑ පෙම්වත

Friday 18 November 2011

නිම වුනු පෙම

ආපසු හමනා සුළඟක දැවටී 
අතීතයට යන්නට ඇත්නම් මට
හමු වෙයි ඔබ මා පෙම්කල දිනවල
මෑව් සිහින අපි දෙදෙනා දෙතැනක


මල් පෙති සුළඟට පාවී ඇවිදින
සුන්දර මල් පාරේ අපි එදවස
හමුවී හිනහී මුණ ගැහුනා අප
මකතයි තාමත් ඒ සුන්දර රස


දින සති ගෙවිලා කල් ගතවන් විට
අපේ සෙනෙහසේ දුක්බර දවසක
ඔබමයි මල් පෙති සිඳ බිඳ දැමුවේ
අප හදවත්වල සුපිපුණු මල්වල


ලෝකය මා වෙත නගනා මේ දොස
ඔබ හින්දයි මා නොකලෙමි මෙවරද
ඔබ නිවැරදි යැයි ඔබම කියන සඳ
මා නිවැරදි බව කියනුයේ කවුරුද 

Monday 7 November 2011

මගේ සිත අසරණයි



ඉකිගසන සිතුම් වැල් දසත පාවී ඇදෙයි
ඔබේ මතක සමඟ සිත කඳුලු සලමින් හඬයි
සිහිනයක සැඟවිලා අනේ ඔබ තව දොඩයි
අහිමි බව දැනි දැනී මිරිඟුවට සිත ඇදෙයි


මායිමෙන් එහා සිත දුවන්නට මං සොයයි 
අනේ අසරණයි සිත කෙනෙකු කරදර කරයි
අහිමි බව දැනි දැනී ඔහුත් පසුපසම එයි
ඔබට දුන් සිත යලිත් ගන්න මට නොම සිතෙයි


දුර ඈත සැඟව යන්නට කලින් කිව් වදන්
සිත පුරා රැව් දෙමින් යලිත් මතකයට එයි
ඔබේ සිහිනයත් මගේ සිහිනයට සම නිසයි
දුක් දරන් නැගී ඉන්නේ සිහින ඉකිගසයි


යලි යලිත් ගිලන්වන මා සිතුම් දුක් බරයි
ඔබ ගෙනත් දෙන සිහින පොඩි හිතට හරි බරයි
හිඳින්නට හැකියි මහ මෙරක් ලෙස සිත කියයි
ඔබේ පෙම ලඟ තවත් මගේ සිත අසරණයි. 

Sunday 6 November 2011

සුභ පැතුම්!!

ගොතන විට සතර පදක්
සිතේ ඇති වෙයි සිහින දහසක්
එවන් වු සිහිනයක් සැබෑවු නිමේෂයක්
සුබ පැතුම් සොයුරියේ 
හද පිරිණු සන්තොසින්...
මුණු පොතේ නුඹ ලියු පද 
කියවා සැනසුනා සිත
අසන්නට හැකිය ඒ පද ගී ලෙස මඟ බලමි
ඒ දිනට පතා සුභ පැතුම් මම






යාළුවනේ...

සැබැවක් වු හීනය

"හීන කුමාරි"
ඔයාලගේ දෝතට එන්න
හරියටම තව දවස්
7 යි නේද

ඉතිං
මේ ඔයාලගේ උදව් ඔන වෙලාව

මේ ෆොටො එක
ඔයාලගේ ප්‍රොපයිල් පික්චර් එක විදිහට
13 වෙනිදා දාන්න කියලා ඉල්ලන ගමන්ම

මේ පණිවිඩය ඔයලගේ වොල් වලත් ශෙයා කරන්න කියලා ආදරණිය ඉල්ලිමකුත් කරනවා.

හ්ම්..
හීන කුමාරී දෝතට අරං ඔයාලා දකින්න
මම 13 වෙනිදා වෙනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා

ඔන්න
වරද්දන්නේ නැතුව එනවා නේද

මම

ඔයාලගේ ආදරණිය

දිනිති දීපිකා

Saturday 5 November 2011

කඳුලු නිම්නය

අපිට අපි හිමි යැයි සිතන්නට 
අයිති නැති හින්දා
කඳු පෙලේ මීදුම් වලා කැටි 
හොරෙන් ඉකි බින්දා...


ඔබට මට කඳුලැල් උරුමකල 
නිම්නයම හැරදා
යන්න ඉඩ නෑ සතුට සොයමින්
සිත බියෙන් සැලුනා....


මිරිඟු සයුරේ ගිලී ගිය හිරු
යලිත් එන හින්දා
බලා ඉමු අපි ඒවි සමනල් 
වසන්තය කැන්දා....


අපේ හිත් වල සදා සැඟවුනු 
සිහින ඉකිගසනා
අපට අප හිමි ලොවක් හමුවෙයි
සොයා යමු පියඹා....