Monday 17 October 2011

සැනසන සිත



ඔබේ සෙනෙහසින් කවිකම් ලැබුවද
තවම නොහැක මට කවක් ලියන්නට
මා සිත නැලවු මා සිත හැඬවු
ඔබ දුන් ඒ සුන්දර හස කැන් ගැන


දරන්න නොහැකිව ලොවේ කුරිරු බව
මා සිත අසරන වී උන් කාලෙක
සෙනෙහස ගෙන සිත් අරනට වැඩි ඔබ
මහමෙව්නාවක් වුවා මගේ ලොව


අපට හොරෙන් අප හිත් වල සුපිපුන
පිච්ච මලේ පෙති විසිරිණ් නොදැනම
වාවනු කෙලෙසද කඳුලේ උනුසුම
ලොවට හොරෙන් වැලපේ සිත ඉකිබිඳ


ඔය ඇස්වල දුටු අපමණ සෙනෙහස
පහන් වැටක් වාගේ සිත සනසන
අහිංසකම හඳ පාන අතේ මට
එවන්න ලියලා පුංචි හසුන් පත 

Sunday 16 October 2011

සෙනෙහසේ කවි කම්



තරු කැකුළු වල හැඩ පරදවන 
පුංචි මුතු වන් කඳුලු කැට වල 
දිය වෙලා නෙතඟින් ගලා යන
සෙනෙහසේ කවි කම් අසනු මැන


පාරමී පුරමින් නුවන් යුග
සොයන දසුනේ රුසිරු රස විඳ
ගොතයි අතොරක් නැතිව කවි කම්
අපේ සෙනෙහස පිරුණු ලොව ගැන


සිහින මවමින් අපි උනුන් ගැන
සුසුම් සමඟින් ගොස් බොහෝ දුර
යලිත් ආපසු නොඑන ලෙසකට
තව තවත් තටු සලමු ඈතට


ඔබේ නෙත් ලඟ රැඳුනු සෙනෙහස
දරා ගන්නට බැරිව ලතවෙන
මගේ අසරණ බොළඳ සිතිවිලි
ඔබේ උනුසුම සොයයි හැම විට 


සුවඳ සොයමින් ඔබේ සුවබර
සිත දුවයි වලකනු කෙලෙස මම
තරු කැකුළු හැඩයට දිලෙන රැය 
මා ලඟයි නිදි  ලොවේදිත් ඔබ 

Saturday 8 October 2011

වටකුරු අකුරු


ලියන්නට කවි පඳ
අකුරු නොම දත් පන්හිඳ
කඳුලු කැට එක් කොට
ලියයි වටකුරු අකුරු  හැඩකොට

අත පත ගගා සිත
සොයමි මතකය නුඹත් මම ගැන
අමතකම වී ගිය
මතක අලුතින් කියමි  කවි කොට

හැඩැති අකුරක
ගැට ගසා ලියන කවි පද
නොපෙනෙයි සබඳ නුඹ හට
කඳුලු විනිවිද පෙනෙන හින්දම

කඳුලු යැයි නිඟා කොට
හැරදා ගියත් පන් හිඳ
නුඹ නමින් කවි ලියමින
හඩා වැලපෙමි අහිමි පෙමකට