Wednesday, 29 June 2011

හංස විල

මානස විල මැද හංස රජුනි ඔබ
අගමෙහෙසිය විමි හංසිය වී මම
නිල් දිය  තලයේ පෙම්වත් රංගන 
රැඟුවෙමු පිරිවර තිසරුන් වට කොට 

දඩයම් ආ සතුරන්  ඔබ වට කොට 
රැකවල් ලද්දි අල්ලා ගැනුමට 
සෙසු තිසරුන් ඉගිලුන මුත් අහසට
මා හට නොහැකිය ඔබ හැර යන්නට

හිමියනි විල මැද අප රැඟු රන්ගන
පෙන පිඩු නගමින් පිහිණු අන්දම
සිහි කරමින් ඒ සොදුරු අලිංගන
සිතුවෙමි ඔබ හා මමත් මියෙන්නට



Friday, 24 June 2011

සඳ කිඳුරානෙනි


හිම ගිරි අරණට මල් වැහි වසිනා 
සීතල හැන්දෑවේ
තණ පලසේ පිනි මුතු මත නැටුවෙමු 
තුරුලේ සුව පහසේ

නන්දනීය පෙම සිත තුල සක්මන් 
කරනා මේ යාමේ
ආනන්දය සිත් පෙම්වත් කරවන
ඇතිවිය සිත් දෑලේ

වස්දඬු නාදෙට පාද නැලවෙනා
කින්නර රංගනයේ
කුමරා සමඟින් කුමරිය විමි මම
ඒ සුන්දර යාමේ

බඹදත් රජතෙම රහසින් අවුදින්
රංගන නැරඹි කලේ
කින්නර නුඹ ගැන අසූයාව බැඳ
දුනු හී ඇද  ගත්තේ

දෙටු බඹදත් රජු එක හී පහරින්
කිඳුරිඳු නිහඬ කලේ
චන්ද කින්නරා රංගනයේ සිටි
මා නැත එය දුටුවේ

රැඟුමෙන් මත්වුනු බඹදත් රජ තෙම
මා වෙත පෙම් බැන්දේ
කින්නර කුමරුණි ඔබ සමු ගෙන බව
එවිටයි මා දුටුවේ

හිම ගිරි අරනේ පෙම් බැඳී හිමියනි
තනි කර නොයනු මැනේ
දෙරණත කම්පාවන ලෙස හැඩුවෙමි
පෙමි සිත මොර දෙමිනේ

නිසල සිරුර දොතින්  ගෙන හැඩුවෙමි
 යැද ජිවය ඔබගේ
ගහ කොල මල් වැල් කම්පාවීලා
දෙරණ මලින්  වැසුනේ 

පෙම්වත් සිතකින් පැතු පැතුමක් දැක
සක‍් දෙවි මෙහි වැඩ්යේ
අසරණ හිමි ඔබ විවිරණ ලැබගෙන
යලිදු මවෙත වැඩ්යේ

බුදු බව ලබනට කැමතිව ඒ දින 
විවිරණ ඔබ ඇසුවේ
යශෝදරා ලෙස යලි ඉපදෙනු දැන
ඔබයි සිතින් පැතුවේ 









Tuesday, 21 June 2011

යශොදරාවත

සෙනෙහසේ අරුත සොයමින
නොගියෙමි මං මුලාවී මම
හිමියනි සිටියා ඔබම
මා වෙනුවෙන් හැම භවයකම.........
 ‍එක්ව ආ මග සසර හැම කල
ගෞතම බුදු බවට තෙක් දුර
සිටියා මහමෙරක් ලෙස ඔබ
වෙන්ව වැඩියත් පතා බුදු බව........
කිඳුරු කුලයේ ඉපිද
ලෙහෙන් කුලයේ පෙම් බැඳ
හංස කුලයේ සිටන් ඇත් කුලයට
මනුසත් භව වලත් උන්නා ලඟ ලඟම...........
සසර ගමනේ දිගටම
හිමිත් මම ගෙව් මග දුර
පවසන්න අවසර
යශෝදරා ලෙසින් අද සිට

Sunday, 19 June 2011

කිඳුරු ගීය



සරත් සඳ කැන් පතිත මිහිපිට
නැළවෙනා දළු මල් බලා
තුෂර පින්නේ තෙමි රඟ දෙමු
සඳේ රැස් මත පිහිනලා

වලා යහනෙන් හිලිහි මිහිබට
සුසුදු සේලෙය දවටලා
කිඳුරු කෝමල වලා පැහැයෙන්
හැඩවෙලා තව හැඩ වෙලා

නීල දෙනයන යොමා වටපිට
සුදුසු තනුවක් වය වයා
කිඳුරු කුමරිය රඟමු දිනයක
සරත් සඳ ළඟ තනි වෙලා

Sunday, 12 June 2011

හංස කවිය






මානස විල කළඹා

නිල් දිය රැළි පරදා
ස්වර්ණ හංසි පියඹාගොසින්
මනු ලොව පෙම සොයලා
දිය රැලී මත වැතිරී
පෙණපිඩු කදුළු සැලී
රණ තිසරා ඉකිගසනා තාලෙට
දිය පිට රැළිති පිපී
කදුලැලි තුසර පිනී
සියපත මතට වැටී
ගයන හංස ගීතය ඇසෙනා සද
දෙරණත සලිත වුණී



Monday, 6 June 2011

වැස්සක වෙනස



සීනියට රැළි ගොතපු ඔසරි පොට අතට ගෙන
පොත් මිටිය දෝතින්ම ළය මතින් තුරුලු කර
මමම ගෙතු මප්රලය ගෙල වටින් ඔතා ගෙන
මල් කුඩේ යටින් ගිය දවස් සිහි වෙනවා මට

ගෙත්තමින් හැඩ මැවුනු කබායේ උණුසුමින්
පාට පාටින් ගෙතුණු අත් මේස් පළඳමින්
පිනි මුවැත්තිය ලෙසින් සීතලට ගුලි වෙමින්
අයිස් වැස්සේ දුවපු දවස් සිහිවෙයි ඉතින්

පටි සෙරෙප්පුව කෑඩී මාවතේ තනිවෙලා
පැගිලා ඔසරි පො‍ට ඉඟ නෙරිය විසිරිලා
දිගට ගෙතු කෙස් වැටිය අග්ගිස්ස තෙත් වෙලා
සීතලේ වෙව්ලමින් සිටියා මතකයි එදා


වසරකට පසු *****

දිගට ගෙතු කෙස් වැටිය ලේයර් කට් උන නමුත්
ඔසරි නැතිවාට දිග කලිසමක් ඇඳි නමුත්
පටි සෙරෙප්පුව නැතිව කෝට් ෂු දාගෙනත්
මහ වැස්සේ තෙමෙන්නට යන්න සිදුවිය මටත්












Sunday, 5 June 2011

ඉකිබිඳින සමනලියට

 
හිතට උඩින් අඩි තිය තිය නුඹේ ළගින් මම ගියදා
දුරින් ඉඳන් සෙනෙහේ පුරන ඔය සෙනෙහස මට  දැණුනා
ළඟින් ඉඳන් මල් පුදන්න ආසාවෙන් මම ආ දා
නුඹේ සිතින් පුංචි ඉඩක් මට දී ඔබ සිනාසුනා

නුඹට හොරෙන් හොරකම් කල සිතට මමත් පෙම් බැන්දා
පැතුම් පුරන නෙත් අද්දර සීතල කඳුලක් රන්දා
සංසාර් දුරින් දුරට පියමනින්න සිත පහදා
හැමදාමත් ලඟින් ඉන්න සිත පුරාම මම පැතුවා

අතේ මිටේ නැති උනාට හිතේ සෙනේ වැඩි හින්දා
සඳක් වගේ පායා මම හිත් යායාම එළිය කලා
පිපුනු මලක් වගේ හැඩට හිත අද්දර තනි රැක්කා
ජීවිතයේ දුක සැප ළඟ ගිමන් හලත් මමම උනා

ගඟක් ළඟට
ඉවුරක් ලෙසට සදා ඉන්න සිත දුන්නා
ඉරක් ලෙසින් පා‍යාවිත් මල් මුවරඳ පිනි සින්ඳා
බොළඳ සිතට  හීන අහුරු අරන් ඇවිත් මම දුන්නා
දිගන්තයේ අතරමන්ව හීන පහස ඔබ වින්ඳා

දුරින් දුරට අඩි තිය තිය නුඹෙන් දුරට පිය මැන්නා
හිඟන්නියක් ලෙසින් හඬන හැඩුම් සිතට වද දුන්නා
තුරුලු කරන් හිස අතගෑ නූඹව සිතින් පැන්නූ දා
මටත් හොරෙන් මගේ ඇස් වල කඳුලු පොකුරු මල් පිපුනා

හදාගන්න ඔය පොඩි හිත නුඹට දුරින් මම උන්නා
හිතත් එක්ක විඳින දුකට මමත් හොරෙන් ඉකිබින්ඳා
නුඹේ සුවඳ තව මලකින් නැහැපුඩු පිනවන හින්දා
ඒ මල ලඟ ජීවිතයම පුදදී මම සිත් බැන්දා



මානස විලේ හංසගේ කවියට  සුදු හංසිය ලියූ පිළිතුරු කවියකි

Saturday, 4 June 2011

සිහින කව


කඳු නිල්ලේ ඈත පාවී
හසරුල්ලේ  දෑස යාවී
මැව් සිහිනේ සුපෙම් මාලිගා
මනහාරී මල් තලාවේ
වැතිරී සැනසේවී
සිත් යායේ ඔහේ පා වෙලා
අනුරාගී නෙත් කතාවේ
මුදු හැඟුමන් සිත් පිනාවී
සෙනෙහසේ කවි කතා ලියවිලා
ඔබ මාගේ සිහින ලෝකේ
රන් කිරුලත් හිස දරාවී
අප සිහිනේ පැතුම් ඉටු වෙලා



Friday, 3 June 2011

සක්මන් සිත



නිල් මහනෙල් මල් සම කල
නුඹ පෙම් කල මගේ නෙත් යුග
සක්මන් සිත චංචල කල
මහනෙල් මල් පරදන නෙත

ඉක්මන් කොට  අඩි තිය තිය
සිත් මනිඩිය පුරා හැඩට
මන්තරයක් ලෙස මුසුණන
ආදරයේ සප්තස්වර

සන්සුන් සිත චංචල කොට
පැහර ගිහින් පෙම්වත් හිත
මං තාමත් අහන්නේ ඇයි
පෙම් කෙරුවේ මෙතරම් මට