Showing posts with label නුඹ. Show all posts
Showing posts with label නුඹ. Show all posts

Wednesday, 4 June 2014

යලි ඇරඹේවා ලොව අළුතින්




දෙනෙතේ කඳුලක් වී ඉන්නම් මම
සදාතනික සෙනෙහස පුරමින්
ජන්මෙන් ජන්මෙට  රැදෙන්න ඇති ලඟ
සිත යන්නේ නැහැ ඔබේ ලඟින්

සිතමි සියක් වර පතමි පැතුම් මම
නවතීවා මේ ලොව මෙතැනින්
ඔබ මාගේ වී මම ඔබගේ වී
යලි ඇරඹේ නම් ලොව අළුතින්

කඳුලැලි ගල්වී සිතිවිලි ගොළුවී
ඔබගේ වන්නට එක මොහොතින්
සදාතනික පෙම් සුසුමක්  වීලා
සැඟවෙන්නම් ලය තුල රහසින්... 


Monday, 12 August 2013

තරු කැකුල මම

 
අහස් මායා අතර හැංගුන
ඔබට නොපෙනෙන
ප්‍රේමයේ තරු කැටය මං
 
ස්නේහයේ මුදු එලිය
නොරිදවයි මුත්
දුරයි නුඹ
සඳක එළියට බයෙන්
 
පුර පසට අහසට ඇවිත්
සඳ දිලෙන අරුමය දුරින්
බලාගෙන නෙත් පිනා සැනසෙන‍
කුමුදු මල නුඹනම්

අමාවක අහසකත් පායන
තරු කැකුල මම නුඹ නොදත්
සහස් සියවස් ගනන් රෑ වල‍
දිලිසුනා මම නුඹ නමින්


Monday, 5 August 2013

අනුන් සතු වත්කම



සිනා නොමසෙන ඇස් වල 
පිරුනු කඳුලක හැඩතල 
අයාගෙන මම දෙනුවන 
බලා උනි සිතුවිලි මැද 

නොකී රහසක වත ගොත
නුඹත් කිසි කල නොඇසුව
මටත් රහසෙම සිත තුල
පිපි වියැකුණි පෙම් මල

ඉකි බිඳුම් මුව ගොලු කල
වාවමින් සිනැහුනි මම
සුබ පතූ වදනින් නුඹ
කියුවේ කවියකි වෙන 

අපිට අපි හිමි නැති කල
සිතට හොර කල පෙම් රස
වාවගෙන හිනැහුණු විට
අනුන් සතු වත්කම නුඹ 

Wednesday, 5 December 2012

සිතුවිල්ල - කවි සිතුවිල්ල




තැවෙයි හදවත
තවම තනියම
කවක් ගලපමි
සිතුම් කැටි කොට

තවත් හිතනට
සිතුම් නම් නැත
සිසිල් සුලඟට
රිදෙයි මගේ හිත 

සිතත් මට නැත
තව කෙනෙකු ලඟ
ඇත්තේ හදවත
මටත් මම නැත

ගත්තේ තුරුලට
බදා තදකොට
එකම වත්කම
තමයි  තනිකම

පාළුයි මුළු හිත
එනුමැනවි අදම හෙට
මගෙන් දුර ඇත ගිය
සිතුවිල්ල  - කවි සිතුවිල්ල 

Tuesday, 20 November 2012

සෙනෙහස ඔසුවකි




සුවඳයි සැනසුම වාගෙම සෙනෙහස
පිළිගෙන විඳින්න සඟවා නොඉන්න
ලාලසී රසයෙන් හමුවුනි දෙනයන
ලංවී හිඳින්න සෙනෙහස වඩන්න 

ඊයේ අප හට අහිමිවු රැය නැත
අද නව දිනයකි රැය අප සතුවිය
පැටලී  තැවරී හිත හිරිවට්ටන 
ආසයි විඳින්න ඒ හැඟුමන් මම 

හදවත හැගුමට සීමාවන් නැත
වලාකුලේ පා තබමින් ඇවිදිත
ගඟුලකි මගේ හිත ගලනා නොනැවත 
එහෙත් විටෙක මම ජලයෙත් ඇවිදිත.



Friday, 16 November 2012

මම හැමදාමත් නති තරුවක්




දෑසට නොපෙනන ඈතක හිඳගෙන
මගේ හිත සිතුවම් මැවූ තරම්
වාවනු නොහැකිව හඬනුයේ කෙලෙසද
නෙලන්න බැරි ඔය  හිත මනරම්

සුන්දර විලසක අතිනත අරගෙන
ඇවිදන් යන්නට සිත පැතුවත්
නොපෙනෙන දුරකින් පායන සඳ ලග
මම හැමදාමත් නති තරුවක්

තනිකම් පවුරේ බිතු සිතුවම් ඇඳ
රවටාගමි පෙම් හිත කවදත්
අපි අස අපි නැති සීතල නිම්නෙක
සිත හැමදාමත් ඔබේ ලඟින් 

Thursday, 27 September 2012

Friday, 2 March 2012

දුරක ඔබ ඇදෙනවා




ආකාසේ තරු ගන්න
මං හීන මවනවා
මල් රේණු දෝත මත
පර වෙලා වැටෙනවා

සිත් දෑලේ දැවටෙන්න
මං කෝල කරනවා
සමනලුන් සිත් යාය
පුරාවට නටනවා

උර හිසේ සුව ගන්න
සිතුම් ඉකි බිඳිනවා
නෙත් දෑල නොපැටලී
දුරක ඔබ ඇදෙනවා

ඔබේ ලෝකේ රජ  වෙන්න
සිත පෙරුම් පුරනවා
මේ වදන් නොදත් සේ
ඔබ බලා සිටිනවා..... :'( 

Saturday, 25 February 2012

ලඟ ලඟයි මුමුණනු ඇසේ


සිනා නොමසෙන ඔය මුවේ
සිනාහ හස කැන් මට පෙනේ
සෙනෙහසක් නැති නෙත් අගේ
සෙනෙහසේ පැතුමන් සැලේ

නොපෙනෙනා  දුර වසන්තේ
ලඟ ලඟයි මුමුණනු ඇසේ
දුරයි මුත් සඳ ගගනතේ
නෙත් ලඟින් පෙනි පෙනි පිපේ

Monday, 13 February 2012

ඔබම කියු.. මගේ කවිය...



ළඟට එන්න

හිත හදන්න


බරවුනු නෙතු සනසවන්න..




ඔබ පිපෙන්න



මගෙම වෙන්න



නෙතු රැඳි කඳුලින් මිදෙන්න..




ළඟම ඉන්න



දුර නොයන්න



සිත් විල මත ඔබ රැඳෙන්න..


Sunday, 29 January 2012

පින්සාර නෙතු


දුක් සුසුම් අතැර නැලවෙන්න දැන් සඳැල්ලේ
මා නමින් පේ වුනු, මල් යාය නිල්ලේ....
සංසාර මඟ යන්න පාවී නිදැල්ලේ
පින්සාර නෙතු ඔන්න පිපුනා තුරුල්ලේ

ලං ලංව විඳ ගන්න සුසුමන් සිහිල්ලේ
හඳ ගැස්ම වී ඉන්න දෙන්නම් තුරුල්ලේ
කඳුලින් නැඟි ආ සිනහා කැරැල්ලේ
පාවෙන්න ඔබ එන්න හන්තාන නිල්ලේ

රන්තාරු මල් ඇතිරු තණ නිල්ල ගොල්ලේ
නිම්නාද නද දෙන්න සුළගේ නිදැල්ලේ
භාවනා වඩන්නට එන්න තරු නිල්ලේ
රහසක් කියයි දෙනෙත් ගිලී  හසරුල්ලේ

සිත්රූ සෝබාවට ලියපු පිළිතුරක්... :D 

Wednesday, 25 January 2012

පහන් දැල්ල



ඔබ මට සඳක් නොව
පහන් දැල්ලක්
අවපස සඳට දුර මුත්
ළඟයි නුඹ නම්

Sunday, 15 January 2012

සිටියා ඔබ සිතට බොහෝ ඈතින්

ඈතින්, තනි තරුවක් සේ ඇවිදින්
කීවා, සිත විමසූ රහස සෙමින්
දුරකින්, දුර ඔබ සිටියත් ඈතීන්
ළඟමයි, රෑ සිහිනෙන් ඔබ ඇවිදින්

සරසා, නෙත කඳුලැල් මුතු පොටකින්
සිටියා, ඔබ සිතට බොහෝ ඈතින්

රහසින්, මුමුනමි පෙම් රහස හෙමින්
මෙතුවක්, ඔබ නොම දැන උන් පැතුමන්
ආසයි, මට සැඟවි ඉන්න ඉතින්
මිහිදුම්, සළුවක සේ ලඟ වෙලෙමින්


සරසා, නෙත කඳුලැල් මුතු පොටකින්
සිටියා, ඔබ සිතට බොහෝ ඈතින්

Saturday, 7 January 2012

ඔබේ කවියේ මුල් පදය



නිදි ලොවෙහි මා සැරිසරද්දි
අවදි වන්නට ලොබ සිතින්
උදැසන වී ඔබ ඇවිත් ඇත
කිතිකැවෙයි සිත සැනසුමෙන් 

සිතුම් සසලව හඬන මොහොතක 
සිහිනි ස්වරයෙන් දොඩයි නම්
නෙතු පියා මම ආසා ඉන්නම්
ලයට තුරුලුව සෙනෙහසින්

නිශා යාමය ලෙසින් ඇවිදින්
ලැගුම් ගන්නම් සිත ලඟින්
ඔබේ කවියක මුල් පදය වී
තුටින් ඉන්නම් ඔබ ලඟින්

Wednesday, 4 January 2012

සංසාරේ පැතුම ඔබයි හදේ



සිසිලයි උණුසුම
නිහඬයි කවි සිත
ලඟමයි සඳ නුඹ
මම දැන් ඔබ ලඟ

තරුවකි මට නුඹ
මල් ගොමුවක් ඔබ
පහන් වැටිය ලඟ
බලා හිඳිමි මම

සීතල  සුළඟක
සිසිලස ඔබ මට
නලමුදු සුවඳක
සැනසුම ඔබ මට

කියන්න නොදනිමි
සිත ඇති සෙනෙහස
සත්තයි වස්තුව
මම දැන් ඔබ ලඟ

Tuesday, 27 December 2011

සුබ සිහින

කවිකාර සිත ගොතන 
හැඩකාර පද වලට
ඔය මිහිරි හඬ දෙන්න 
වැහි සීතලේ......

ඔබ ගාව සැතපෙන්න
නොපියාම නෙත් නිම්න
තුරුලේම සැඟවෙන්න
එන්නම් හොඳේ......

Tuesday, 20 December 2011

ඔබේ මතක


රෑ අහසේ තරුකැට දෙස
බලා සිතට දෙන සැනසුම
රෑ සිහිනෙන් ඇවිත් හොරෙන්
සොරා ගනියි ඔබේ මතක
නෙතට හඬන්නට දෙනු බැහැ
ලොවම සැනසෙනා මොහොතක
මට හැමදා හිරු සඳු වු 
ඔබේ මතක ගන්න ඔබම 

Wednesday, 14 December 2011

නුඹයි මගේ රත්තරන් උදා වුනු වසන්තය



අසිනි වැස්සට තෙමී තෙත බරිත හඳ මඩල
අනෝරාවක් ලෙසින්නෙතින් හල කඳුලු වැල
රුදුරු තොල් පෙති වැදී රිදුම් දෙන කොපුල් තල
ආදරේ සීත පිණි දියෙන් දැන් තෙමනු මැන


වියලි පොළවට වැටුණු පින්සාර පොද වැස්ස
රුදුරු කතරක දුටුව අහිංසක පතොක් මල
ජීවිතේ කුණාටුව නිවාහල සුළං පොද
නුඹයි මගේ රත්තරන් උදා වුනු වසන්තය 

Friday, 2 December 2011

මිලින වනු මිස මක් කරන්නද



පයට පැගී සිතුම් හඬවන 
අහිංසක පෙම් කැකුළු මල්වල
සැවඳ දැනුනේ දැන්ද ඔබ හට
මිලින වී පෙති හැලී යන විට


නොවක් මල් ලොව පිපී තිබුනද
එකම මල මම ඔබට පෙම් කල
මේ තරම් ගැරහුම් ලොවින් මට
ලෙහෙසියෙන් පිදු නිසයි සෙනහස


මලට වැටෙනා පිනි පොට්ටු ලෙස 
කඳුලු වැටුනද නොමැත දොම්නස
දුක නොමැතිනම් ඔබේ සිත ලඟ
කුමට විඳිනුද මමත් මේ දුක


එකම පෙත්තක් සතුව බිහිවුන
මලකි එක්පෙති මම ඔබේ ලඟ
නෙලාගන්නේ නොමැති නම් ඔබ
මිලින වනු මිස මක් කරන්නද









Friday, 25 November 2011

රත්තරන්, හිත හඬයි ඉකිබිඳ


හරිතවන් ඒ කඳු මුදුන් මත 
සුදට දිලි මීදුම් කොයිද නුඹ,
දසන් සනහා පිරෙන්නට තිබු 
මගේ සිනහවන් ගියේ කොයිබද

තුටින් රඟදෙන සමනලෙකු සේ
රැඟු සැනසුම කොයිද අද නුඹ
මුව විදාගෙන ගිරවියකසේ
මා දෙඩු බස් ඇයිද නිහඬව





නින්ද සොරකම් කලේ කවුරුද
ආයේ එන්නේ නැතිද සැනසුම
සිතට ලංවී කියන් හෙමිහිට
රත්තරන්, මේ වෙන්නේ මොනවද

නැවතුමක් හමු වේද මේ මඟ
ගිමන් හල පමණක් වේද මෙය
ගෙනගියේ ඔබ කොයිද සැනසුම
රත්තරන්, හිත හඬයි ඉකිබිඳ

නුඹට රහසින් සිතින් පෙම් බැඳ
සිහින සමඟින් ගොස් බොහෝ දුර
අනේ අහිමියි සිතට සැනසුම
රත්තරන්, එය දන්නේ නැතිවද