Showing posts with label හිතුනා ලීවා. Show all posts
Showing posts with label හිතුනා ලීවා. Show all posts

Wednesday, 4 June 2014

යලි ඇරඹේවා ලොව අළුතින්




දෙනෙතේ කඳුලක් වී ඉන්නම් මම
සදාතනික සෙනෙහස පුරමින්
ජන්මෙන් ජන්මෙට  රැදෙන්න ඇති ලඟ
සිත යන්නේ නැහැ ඔබේ ලඟින්

සිතමි සියක් වර පතමි පැතුම් මම
නවතීවා මේ ලොව මෙතැනින්
ඔබ මාගේ වී මම ඔබගේ වී
යලි ඇරඹේ නම් ලොව අළුතින්

කඳුලැලි ගල්වී සිතිවිලි ගොළුවී
ඔබගේ වන්නට එක මොහොතින්
සදාතනික පෙම් සුසුමක්  වීලා
සැඟවෙන්නම් ලය තුල රහසින්... 


Tuesday, 13 May 2014

අළුත් වෙනස



දෙනෙත් ඉඳුවර හීන දකිමින්
රැයක නින්දට පෙරවදන් දෙයි
සිතින් සියවර එකම පැතුමක්
යලිත් යලි යලි ඉපිද සසැලෙයි

පැතුම් පොඳි පොඩි හිතට බර නැහැ
හීන ගං තෙර  සිතුම් පොපියයි
කලක් ගොළුවුණු පැරණී කවි හිත
හැඟුමි බර පබැඳුමක් ගලපයි

අළුත් පැතුමක් සිතට ඇවිදින්
යලිත් ඉපදුණු බවක් දවනයි
යලිත් සිතකට පෙම් පුරන්නට
සිතුම් සියුමැලි වෙමින් පවතියි 

Thursday, 20 March 2014

ඊම



තැන නොතැන යති එති

සිත් තමෝ කමකට නැතී

එකට එක බැඳ නැතී

සිතුම් සීතල විලක කිමිදෙතී  



සිත විඳින සිතුවිලි

සමඟ මුසුකල අකුරකි

අරුත් හෙම ඇති නැති

මගේ හිත කවි මඩුවකි

Monday, 5 August 2013

අනුන් සතු වත්කම



සිනා නොමසෙන ඇස් වල 
පිරුනු කඳුලක හැඩතල 
අයාගෙන මම දෙනුවන 
බලා උනි සිතුවිලි මැද 

නොකී රහසක වත ගොත
නුඹත් කිසි කල නොඇසුව
මටත් රහසෙම සිත තුල
පිපි වියැකුණි පෙම් මල

ඉකි බිඳුම් මුව ගොලු කල
වාවමින් සිනැහුනි මම
සුබ පතූ වදනින් නුඹ
කියුවේ කවියකි වෙන 

අපිට අපි හිමි නැති කල
සිතට හොර කල පෙම් රස
වාවගෙන හිනැහුණු විට
අනුන් සතු වත්කම නුඹ 

Wednesday, 5 December 2012

සිතුවිල්ල - කවි සිතුවිල්ල




තැවෙයි හදවත
තවම තනියම
කවක් ගලපමි
සිතුම් කැටි කොට

තවත් හිතනට
සිතුම් නම් නැත
සිසිල් සුලඟට
රිදෙයි මගේ හිත 

සිතත් මට නැත
තව කෙනෙකු ලඟ
ඇත්තේ හදවත
මටත් මම නැත

ගත්තේ තුරුලට
බදා තදකොට
එකම වත්කම
තමයි  තනිකම

පාළුයි මුළු හිත
එනුමැනවි අදම හෙට
මගෙන් දුර ඇත ගිය
සිතුවිල්ල  - කවි සිතුවිල්ල 

Tuesday, 20 November 2012

සෙනෙහස ඔසුවකි




සුවඳයි සැනසුම වාගෙම සෙනෙහස
පිළිගෙන විඳින්න සඟවා නොඉන්න
ලාලසී රසයෙන් හමුවුනි දෙනයන
ලංවී හිඳින්න සෙනෙහස වඩන්න 

ඊයේ අප හට අහිමිවු රැය නැත
අද නව දිනයකි රැය අප සතුවිය
පැටලී  තැවරී හිත හිරිවට්ටන 
ආසයි විඳින්න ඒ හැඟුමන් මම 

හදවත හැගුමට සීමාවන් නැත
වලාකුලේ පා තබමින් ඇවිදිත
ගඟුලකි මගේ හිත ගලනා නොනැවත 
එහෙත් විටෙක මම ජලයෙත් ඇවිදිත.



Friday, 16 November 2012

මම හැමදාමත් නති තරුවක්




දෑසට නොපෙනන ඈතක හිඳගෙන
මගේ හිත සිතුවම් මැවූ තරම්
වාවනු නොහැකිව හඬනුයේ කෙලෙසද
නෙලන්න බැරි ඔය  හිත මනරම්

සුන්දර විලසක අතිනත අරගෙන
ඇවිදන් යන්නට සිත පැතුවත්
නොපෙනෙන දුරකින් පායන සඳ ලග
මම හැමදාමත් නති තරුවක්

තනිකම් පවුරේ බිතු සිතුවම් ඇඳ
රවටාගමි පෙම් හිත කවදත්
අපි අස අපි නැති සීතල නිම්නෙක
සිත හැමදාමත් ඔබේ ලඟින් 

Thursday, 25 October 2012

සැබැවින්ම ඒ මම නොවේ ඇය!




සන්සුන් දිවිය අභියස 
පෙහෙවස් එළඹි උවැසිය
ඒ මම නොවේ ඇය 
කිසි දිනෙක නොදුටුව, නොඇසුව, ඒ ඇය

දුර්වල සුසුම් අභියස 
ජීවය රුගෙන එන ඇය
පාදපරිචාරිකා මෙහෙය ඉටු කරණු ඇත
නමුත් මම නොවෙමි ඇය

සරල සුන්දර සිත ලග 
නිවී සැනසෙන සඳමිණ
මෙලොව මිනිසුන් අතර.
හැබෑම පින්වත්නිය ඇය


Wednesday, 17 October 2012

තනි මල




හිරු කිරණ රැස් දැක
මිලින වන බව දැනගෙන
තණපත් අග තුහින
විලස ක්ෂය වන තනිමල

මිය ඇදෙන හැඩ කය
ගිලී සැඟවෙන දෙනයන
සුපුන් සඳ පැරදුන
සිනා වියැකුණු තනිමල

පෙති එකිනෙක විසිර
තැලි පෑගි පොඩි වන
පා අසල හිනැහෙන
අනේ අසරණ තනිමල

සිහිනය මත ඉපිද
සිහිනය මතින් මියැදෙන
සිතුම් පොදි රැකගෙන
ලොවට රහසින් මියෙයි තනිමල 






Friday, 28 September 2012

සොදුරු වදකාරයෝ !

තනි සිතේ දුක නිවන 
සිතුම්  කැන් හැඩ මවන 
 නුඹලාට පෙම් බඳිමි
 මගේ ලොව හැඩ කරන 

 කන් කරච්චල් කරන 
විටෙක තරවටු ලබන 
නෙත් කඳුලු පුරෝගෙන 
 යලිත් මා වෙතම එන. 

 ලගින් හිද හිත හදන 
දෙවැනි මව මම කියන 
සාරි පොට හෙවන යට 
 රකින්නෙමි නුඹලාව 

 සිනා කටකාරකම් 
 නැති අඩුව දැනුනි මට 
විවේකයෙ සෙල්ලමට 
ගිනින් මා හැර මෙතැන

Published with Blogger-droid v2.0.6

Thursday, 27 September 2012

Thursday, 24 May 2012

සිතුවිලි ප්‍රාර්ථනා

ඔබේ පෙම් සිතුවිලි ප්‍රාර්ථනා
සිහින සතම අද සැබෑ වෙලා
සුබ පැතුමක් පතනට සිත කීවා
පන්හිඳ මේ කවි පද ගෙතුවා


මාල සතක් ගෙල වට පළදා
කුංකුම අංජන  නෙතු තවරා
සුදු සේලෙන් සැරසී සිත් සනහා
පෙම්බරයෙකු හා පිටව ගියා


නෙතු අග මුතු කඳුලක් රඳවා
යුවතිය පතිනිය වී  ගියදා
ඇය සතුටින් හසරැල් නඟනා විට
නෑ සියයන් රහසින් හැඩුවා


වක්කඩ කැඩුවා සේ මැවෙනා
සිනා කැළුම් හසරැලු උතුරා
හදවත රිද්මය  දෙනෙතින් මැවුනා
මනාලියක් යනු පෙනුනා.

Friday, 4 May 2012

දියණියේ


අරුත් නැති ලෝකයක් හමුවේ
සිනා සෙන්නට වෙර දරන නුඹ
නමක් නොම දත් මලක් සිඹිමින් 
ආදරේ සුව සොයනු කෙලෙසද

සිතක සිතිවිලි වාන් දමනා
යොවුන් වයසේ කිරිලියේ නුඹ
නුඹට පෙම් නැති සිතක් වෙනුවෙන්
නෙත් ඉමේ කඳුලක් දරණු කිම

සිනාවේ මායිම් තනන්නට
සිත් පොඩිය හැඟුමින් වෙලාගෙන
ඈත ක්ෂිතිජයේ මංමුලාවී 
මිරිඟුවට තව පෙම් බඳිනු කිම 

තෙතක් නැති ගල් හිතක් අබියස 
බවුන් වඩනා තවුසියක් ලෙස
තවත්නම් දුර නොයා ඉඳපන්
අතරමන් වෙයි නුඹත් අහිමිව 


සිතුම් මුතුහර ගිලී ගියදෙන් 
හඩන්නට නම් එපා මගේ දුව
නුඹට පෙම් නැති සිතත් විඳවයි
පෙමක අරුමය දුටුව දිනයක 

Wednesday, 18 April 2012

ඉවසීමේ අන්තිම සීමාව

ජීවයක් සොයන්නට

අරමුණක සිරගතව

කාලයක් ගෙව් අරුම හීනයක් නම්



සිහින මන්සල අසල

අතරමන් හිත් පොඩිය

ලොකයක් සමග පොර බදනවා නම්



ආලයක් නුදුටු සිත

කෝල කම් ඉවසගෙන

ලොවේ ගැරහුම් තවම විදිනවා නම්



කාලයක් එනු ඇතිය

සිත් විඩා නිවන්නට

ඉවසුමේ සීමාව පැන ගියෝතින්



සිත් බිදී නෙතු හඩා

ලොවෙන් ගැරහුම් ලබා

තමන්ගෙ උන් අතැර ගියාමුත් මන්



සිතේ පතුලේ කොනක

සදා කල් රැදෙනු ඇත

සෙනෙහසක් නොවුනු මිතු දමේ රසයන්


Published with Blogger-droid v2.0.4

Saturday, 24 March 2012

බහු රූ රැඟුම්



ජසයලා ලෙන්චිනා කරලියේ රඟනවා
අපි දන්න කෝලමක් රී මේක් කරනවා
වෙස්මුණු බැඳන් විත් තවුස් සිල් බිඳිනවා
අන්තිමේ වෙස් මූණ මුණටම ඇලෙනවා


වදන් වැකි කියාගෙන මුන්ලෝකේ හදනවා
දෙන්න පුළුවන් තරම උපදෙසුත් බෙදනවා
වෝල් එක පිරෙන්නට නාඩගම් නටනවා
රීමේක් කෝලමේ  හොඳ අපිට පෙනෙනවා


පෙම් ගීත කියාගෙන මුත් සිලුත් රකිනවා
දවස සුබ වෙන්න යැයි පරල වී කියනවා
ඉරිසියා දුෂ්ඨ ගති යටිහිතේ වැඩෙනවා
හිනාවෙන ගමන් මුන් රටක් ගිනි තියනවා 


තම අතට සෙවනැල්ල තම අතම කියනවා
ඒ උතන් ගැන්සියම අනිකාට කෙලිනවා
පේස් බුක් පිටුවලින් නාඩගම් ගලනවා
මෙවන් බහු රූ රැඟුම්  අපි ඉතින් බලනවා. 

Monday, 12 March 2012

ඉසිදාසි බාරි මම

සිත පෙමින් පුරවගෙන 
හද බැතිය දරාගෙන 
හිමි ගෙයට ගියාමුත් 
දන්නවා සොඳින් මම 
පිටව යා යුතුම බව 


බිඳි  ගිය කුලගෙයට  
සැනසුමක් ගෙන එන්න  
කෙනෙකුවත් නැති කලෙක 
සිඟන වෙස් පැලඳි නුඹ 
නෙත් සලයි ඈත සිට


රුදුරු මුත් දිවි ගෙවුම 
දැනුනි ඔබ සොඳුරු බව 
නොපෙනෙනා හෙට දිනට
හිමියනේ ඔබ සමඟ  
පිය නැගිමි කුමරි මම 


ඉවත්කර දිළිඳු රුව 
රජ  කෙනෙකු කලත් ඔබ 
හැර ගියා හිමියනේ
පෙර කරපු ඒ පවට
ඉසිදාසි බාරි මම 

Friday, 2 March 2012

දුරක ඔබ ඇදෙනවා




ආකාසේ තරු ගන්න
මං හීන මවනවා
මල් රේණු දෝත මත
පර වෙලා වැටෙනවා

සිත් දෑලේ දැවටෙන්න
මං කෝල කරනවා
සමනලුන් සිත් යාය
පුරාවට නටනවා

උර හිසේ සුව ගන්න
සිතුම් ඉකි බිඳිනවා
නෙත් දෑල නොපැටලී
දුරක ඔබ ඇදෙනවා

ඔබේ ලෝකේ රජ  වෙන්න
සිත පෙරුම් පුරනවා
මේ වදන් නොදත් සේ
ඔබ බලා සිටිනවා..... :'( 

Sunday, 26 February 2012

ඉටි පහන් එළිය මම




පළගැටි සේනා දැවි දැවි මියගිය
වැලි බිස්සේ  දුහුවිල්ල පුරා
නිසසල පැහැයෙන් දීදුලමි  සැමකල
සොහොන් කොතේ ඔබ නිදන තුරා 


දෙනුවන ලඟ රැඳි සෙනෙහස් හසුනක
ආදරයේ පද පේලි ලියා 
ගල් පත්තිරුමත දැලි රූ මවනෙමි
ඔබ ගිය  ලොවකට පෙනෙන තුරා.


නිසසල උදයක වැසිබර සවසක
එකලෙස මම දිලෙනෙමි සැමදා
සුදු වත හැඳගෙන ඇය ඇවිදින් කියු
කඳුලේ කවි නිමවනා තුරා.