Friday, 30 September 2011

සුළඟකි නුඹ


කවියක් ලියන්නට 
කවිපද නැතුවාට
සිතිවිල්ලෙන් 
තුන් සිත බර වුනි මෙහෙම
සුළඟකි නුඹ හෙමින් හෙමින් ඇඳි යන
සිසිලස දැනෙන මුත් 
දුටුවේ නැහැ කෙදින
සිඹිනා සුසුම හැමෙකම 
සිටි හින්දාම
දුර උව නුඹත් හැමදාමත් මා ලඟම
ගලපන්නට පද හෙව් 
මගේ කවි සිතට
හැමදාමත් කවි පද දුන්නේ නුඹය

Friday, 23 September 2011

තවත් සිතිවිල්ලක්



හඬන වැලපෙන සිතුම් පවුරේ
හීන මියැදුණු දුක් කතාවක
පද පෙලක අකුරක් වෙලා කිම
සිනහවක සුව සොයා යමි මම

සිතැඟි අතගා ගොතන කවියක
කඳුලු පදවල මිහිර දැන දැන
සිතට හුරු නැති තවත් කවියක්
ලියන්නට මුල් පොත් තබමි මම



Saturday, 17 September 2011

කඳුලු වැස්ස



නෙතට කඳුලැලි ගෙනත් දුන්දා
හැඬුවේ නැහැ මම ඉකි  ගසා
සිතෙන් රස විඳි අහිමි පෙමකට 
කඳුලු පෑහෙන් නැති නිසා

නෙතට රසඳුන වුනා නුඹ මට
සවන ඔය හඬ සැනසුවා
සිතෙහි සැනසුම නුඹ නිසා මම 
අහිමි බව දැන පෙම් කලා

දුරක සිටි නුඹ තවත් දුර ගොස් 
සිතේ සැනසුම නැති කලා
කඳුලු මන්දාරමක් ඇවිඳින්
සිත් අහස වැහිබර වුනා

අකුණු පුපුරා දෙදරවා හද
වැස්ස පෙර මං ඇරඹුවා
නියං සායට වේලිලා නෙත
හද තනිව වැසි වැස්සුවා

Wednesday, 14 September 2011

සදහටම මම තනිවුනා


සඳට සඳ රැස් මදි කියා 
රැයම කළුවර කර ගියා 
දිලෙන තරු එලි ඇති නිසා
සිත නිවන් මම සැනසුනා 

හිරුට පෙම් කර පැරදුනා
සදේ රැස් ගැන නොදැනුනා
පුංචි තරු එළියක් සෙවු මුත් 
විශ්වයේ මඟ වැරදුනා

අළුත් ආදරයක් කියා 
තරු මලක් මට ලං වුනා
හිරුගේ රැස් ගෙන දිලිසුනා දැක
ඒ සෙනේ මට මදි වුනා

තරුත් මා හැර වෙන් වුනා
සඳත් සඳ රැස් සැඟවුවා
අදත් සදහට හිරුට පෙම් බැඳ
සදහටම මම තනිවුනා 

Thursday, 1 September 2011

කුරුටු කවි පොත



සිතැඟි විසිරී දෙනෙත බර වී
ඇස් පියන් පෙති පියවිලා
කුරුටු කවි පොත කුරුටු ගෑ කවි
නිල් තීන්තෙන් බොඳවෙලා

අහස පොළවට සමව දුර උන්
නුඹට සිත පෙම් කල නිසා
කුරුටු කවි පොත කඳුලු සැලුවා
නුඹ මගෙන් දුර ගිය නිසා 

නුඹට නමින් මං නුඹට ලිව් කවි 
නුඹේ  නෙත් නොගැටුනු නිසා 
කුරුටු කවි පොත බොඳ වෙනා තුරු
කඳුලු සැලුවා තනිව මා 

Monday, 29 August 2011

අළුත් රහසක්



සිතෙහි සිරගතක හැඟුම් පොදි බැඳ 
අළුත් රහසක් කිය කියා
නෙතෙහි කැල්මන් රඟන රුඟුමන් 
පදබඳිමි හැඩ වය වයා 

රහස් තෙපලූ දෙතොල් පෙති සැලි
තාලයට හැඩ මව මවා
සවන් කිංකිණි නඳට යොමමින්
සොඳුරු බිඟු නද අස අසා 

ලවන් රත් පෙති සීතලෙන් හද
උණුසුමත් සිහිලැල් වෙලා
පියන් නෙතු යුග හදවතින් විඳි
උණුසුමින් සිත නැහැවිලා 

Thursday, 18 August 2011

අවසරයි සමු ගන්න

අදයි අන්තිම දවස
හෙට නුඹත් මට නොමැත,
දුකයි සැප දෙක එක්ක
මා එක්ක නිදි වැරුව
නුඹට දැන් අවසරයි
මගෙන් සමු ගෙන යන්න,
උකුල් තලයේ වැතිර
නුඹ එක්ක මම කීව
කවි කතා දැන් නිමයි
හෙටින් පසු නුඹත් නැත.
අහමි බව දැන දැනම 
ලඟට ගත් නිසා නුඹ
හිත කෙලෙස් දම් පුරයි...
එහෙත් සමු ගන්න හෙට....




හෙට මගෙන් සමු ගන්නා මගේ වෙලා හිටිය අන්සතු ලෑපිට.....